Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්

මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන කියපුව නෙමෙයි. T ගැන කියපුවා.


ARTs Fac. යාළුවෝ හොස්ටල් එකෙන් පිටවෙලා යන දවස .... ආයේ එන්නෙ නැහැ
GYM කැන්ටිමේ දොරටුව. ෆොටෝ එක ගත්තේ මම
 
 
A - 11 දී
ආදර T
"අනේ මචං, බලපන් මචං, මාර වැඩ ගොඩයි, මේව කවද කරන්නද මන්ද, කැම්පස් එකේ විභාග නැතුව ඉන්න තියේනං කොච්චර හොඳද?"
අනේ බං උඹේ මේ කතා කවද අමතක කරන්නද? උඹයි මමයි ගොඩාක් ලංවුනේ .... උඹට මතකද? හොස්ටල් එකට ආවට පස්සේ. ඊට කලින් අපි උඹ ගැන කතා වෙනවා. උඹ දන්නවනේ ඒ මොකද කියලා. ඒත් හොස්ටල් එකට ආවට පස්සේ අපි කොච්චර ලං උනාද? උඹ මගේ දුකේදිත් සැපේදිත් එක වගේ ලඟින් හිටියා. මම ලෙඩ උනාම උඹ මට කොච්චර සැලකුවද? මම පුංචි දේටත් අඬනකොට උඹ මගේ හිත හැදුවා. 
"ඉතින් හිත හදාගෙන හිටපං. සුදු අයිය හෙට එනවනෙ. සුදු අයියට වැඩ ඇතිනෙ. අනේ මචං අඬන්න එපා. හොඳ A නෙ"
මෙහෙම කිය කියා උඹ මගේ හිත හැදුවා. මම තනියම හොස්ටල් එකේ ඉන්න දවසට උඹ සැරින් සැරේ ඇවිදින්     මාව බලල යනවා. ඕවා කොහොම අමතක කරන්නද? ඉතින් මචං උඹ උදේ ගියාම ආයිත් දකින්න වෙන්නෙ රෑට තමයි. සමහර දවසට ඒ වාසනාවත් නැහැ, මොකද අපි නැගිටින්නත් කලින් උඹ ගිහින් එතකොට අපි උඹව බලන්න රීඩින් රූම් එකට එනවා. මෙන්න බොලේ අපි එනකොට උඹ හොඳටම නිදි. උඹලට විභාගෙ ලියන්නෙ පොලිසියෙන්ද? උඹ රෑට ආවත් ඉස්සෙල්ලම දෙපැත්තෙම ජනෙල් වහල තමයි අනිත් සේරම වෙඩ කරන්නෙ. ඒ කාලෙ කොච්චර සුන්දරද?
 
 මේවා FB Fanpage එකෙන්
 
T උඹට මතකද අර බෙන්ච් එක අල්ල ගන්න කියල උදේ 5.30ට විතර යනවා? අර උඹෙ පරන ෂර්ට් එක අපි හැංගුවා? උඹ කී දවසක් අපිට හොරා අපේ රෙදි සේදුවද? උඹට අපි කොච්චර දේවල් කිව්වද, ඒත් උඹ ඒවා කිසිදෙයක් ගනන් ගත්තේ නැති බව දන්නවා. උඹ දවස් කීයක් අපේ ගෙදර ආවද? ඒවා කොහොම අමතක කරන්නද?
T උඹ exam එකට කලින් දවසෙ විඳින දුක දැක්කනම් ආයෙත් ජීවිතේටම exam තියෙන එකක් නැහැ. එදාට උඹ දිහා බලා ඉන්න බැරිකමටයි මම වේලාසනින් නිදාගන්නෙ. අපි එක බත් උයාගෙන කාල සතුටින් ගෙවපු ඒ ලස්සන කාලය දැන් ගෙවීගෙන යන්නයි යන්නේ. ඒත් මේව දාල අපි කොහේ යන්නද? මට නම් යන්න බැහැ. උඹ දන්නවනෙ මම කොහොමද මේ හැම දෙයක්ම දාලා යන්නේ.
"A - 11 සද්දෙ වැඩියි""
 කුවේනි කොච්චර අපිට බැන්නද? අන්තිමේදි කුවේනි අපිට බයේ මොනවත් කිව්වෙ නැහැ. ඒත් උඹ බය බව මම දැනගත්තා. T මේවගේ ලස්සන කතා ගොඩයි. මේව අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මේ A වත් අමතක වෙන්නෙ නැහැ නේද? ඉතින් T අපි ගෙවපු ඒ ලස්සන කාලය මෙහෙම ගෙවිල අපි සමුගෙන ගියත් අපේ මේ මිතුදම හැමදාම අපේ හිත්වල එකවගේ තියේවි.
ඔයාටත් S ටත් එල්ලේ ටීම් එක සෑදීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවායි පතන මා.
දයාබර සොයුරිය,
A

ප.ලි :

T එදා සංගන්නෙට ආපු අක්ක උඹෙන් ඇහුව මතකද ..
"නංගි, ඔයා කැම්පස් ආවෙ ඉගෙන ගන්නමද" කියලා
 ඒ අක්කත් දැකල තියෙනව උඹ නිතරම අර බෙන්ච් එකට වෙලා ඉන්නවා. අනේ බං, ඒ අක්ක එහෙම අහපු වෙලේ අපිටම ලැජ්ජා හිතුනා. ඒ කියන්නෙ උඹ ගැන අපි විතරක් නෙමෙයි හැමෝම දන්නව කියල උඹට තේරෙන්න ඇතිනේද?
 
මේවා FB Fanpage එකෙන්
 
මගේ සටහන :
මේකේ අන්තිමට ගෙදරට එන පාර පැහැදිලිව ලියලා තිබුනා. පොතක් පුරා මේවගේ දේවල් තියෙනවා. පොත තියෙන්නෙ මගෙ ලඟ නිසා ටිකෙන් ටික ඔයාලටත් බලන්න දෙන්නම්. මේවා අවංක අදහස්. මේ අය රැග් එකට අහු උනේ නැහැ, රැග් දීලත් නැහැ. එහෙම උනා කියලා බැඳීම් අඩු වෙලත් නැහැ. රැග් දෙන්න බැරි වෙලා තියෙන්නේ දෙන්න ආපු අය BITE වීම නිසයි.
 

මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii)

Published on

2010-04-15 21:47
කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න.
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි. 

පිපාසය සන්සිඳුවන්න
මඩ වගුරකට හැකි වුවද
මහ සයුරට එය කල නොහැකිය
එනමුත්
මහ සයුරෙන් ලාභ ප්‍රයෝජන ගොඩක් ලැබිය හැකිය
එනිසා
මඩ වගුර ඉවත ලා
සයුරට පත් වෙමි
(ප්‍රධාන කලාගාරය - පේරා. වි.වි)

අප වෙනුවෙන් ඉදිවන
යදම් පවුරු බිඳ දමා
අපේ අයිතීන් දිනන්නෙමු
තොපේ ජීවිත බිලිගෙන උවද
(විද්‍යා පීඨයේ ආපන ශාලාව - පේරා වි.වි)

දක්කනවා වාසිටියේ කරත්තේ
ගොනා මැරෙනකං
ඇදපන් කරත්තේ
(ප්‍රධාන පොත්ගුල 02 මහල - පේරා වි.වි)

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(ප්‍රධාන පොත්ගුල 03 මහල - පේරා වි.වි)

කය නම් අසාරය
ලව් නම් භයංකාරය
කිය්යු කිම සාරය
පෙනෙයි රංජිත්ගෙන් දිවා රැය
(මාකස් ප්‍රනාන්දු ශාලාව - කාමර අංක 72)

කලකිනි පඤ්ඤා ලෙක්චර්ස් එන්නේ
දුකකිනි ලෙක්චර්ස් ෆලෝ කරනේ
කරත්තෙනුයි ඔහු ගමන් කරන්නේ
අව් වැසි කිසිවක් නෑ සලකන්නේ

ඇල් වතුරෙන් ජීවිතය ගෙවන්නේ
කරත්තෙ බැඳලයි ලෙක්චර්ස් එන්නේ
ගොනාට තණකොල චොක්ලට් දෙන්නේ
මෙහෙමයි පඤ්ඤගෙ කාලෙ ගෙවෙන්නේ

දින සති ක්‍රමයෙන් ගෙවිලා යන්නේ
පඤ්ඤා කරත්තෙන් බිමට වැටෙන්නේ
ඔහු නෑ කොයි කවුරුත් රුස්සන්නේ
ලයිබරියේමයි ඔහු මිය යන්නේ
(ප්‍රධාන පොත්ගුල 01 මහල - පේරා වි.වි)

විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
(ප්‍රධාන පුස්තකාලයේ මේසයකිනි - පේරා වි.වි)

වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි - පේරා වි.වි)

සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරනාව
මාජි ගැනයි කල්පනාව
(දේශන පැවැත්වෙන කාමරයක පුටු ඇන්දකිනි)

අනේ මීනුවන්
ඔබේ දෙසුමන්
මගේ දෙනුවන්
කරයි අඩවන්
(ප්‍රධාන පුස්තකාලය - කැලනිය වි.වි)

ගුණෙ අයියා පැමිනෙන්නේ
බුත්සරන අරගන්නේ
හොඳින් කියවන්නේ
අපට නිදි දෙව්දුව ලඟා වන්නේ

නින්ද නොයන අය හොඳහැටි අහගන්න
ගුණෙ අයියගෙ දේශනයට පැමිනෙන්න
අසුනක් අරා හිඳ දෙසුමට කන් දෙන්න
නිදි දෙව්දුව උරයි තොල්පෙති සැනිකින්න
(ප්‍රධාන පොත්ගුල 05 මහල - පේරා වි.වි)

බඩ මැදින් කලිසම ඇඳගෙන
තට්ටේ තෙල් තවරාගෙන
‍ව්‍යාකරණ පොත අරගෙන
විජේ අයියා එයි විගසින

තට්ටයා ව්‍යාකරණ කරයි
කෙල්ලෝ කොල්ලෝ ජොලියෙ කතා කරයි
උන්ගේ කෑකෝ ගැසීම් අස්සේ
තට්ටයා ව්‍යාකරණ කරයි

'තට්' ධාතුවට 'ට' යන්න
ආදේශ වීමෙන් හා
'යා' ප්‍රත්‍ය එකතු වීමෙන්
'තට්ටයා' පදය සෑදෙන බවත්
ඔහු අපට උගන්වයි
(ප්‍රධාන කලාගාරයේ මේසයකිනි - පේරා වි.වි)

කන්නේ පරිප්පුයි පානුයි දවාලට
බොනේ කැන්ටිමේ වතුරයි පිපාසෙට

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව)

[උපුටා ගැනීම : වසන්ත කේ දිසානායක (පේරා.වි.වි - සිංහල අංශය) - විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය 1995] පිටු 160/ මිල රු.70/-

ප.ලි :
මම දන්නව මේ දවස්වල පොත් කියවන එක අමාරු වැඩක් කියලා. ඉතින් එහෙම අයට තමයි මේ බ්ලොග් එක. පොතෙන් උපුටා ගත් කරුනු වල සියලු හිමිකම් කතෘ සතුවන අතර මේ බ්ලොග් එක නිසා කාගේ හෝ සිත් රිදීමක් ඇතිඋව හොත් ඒ ගැන මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. 
අවසාන වශයෙන් මේ පොත කියවීම අනුමත කරමි.

තාත්තාගේ සමුගැන්ම සමග .....

මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. 
බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. 
අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ගෙදර යන්නෙ මාස ගානකට සැරයයි. රස්සාවත් එක්ක ඔට්ටු වෙනකොට ගෙවල් දොරවල් මතක් වෙන්නෙ නැහැ. ඉතින් ගිය දෙසැම්බර් (2010) නත්තල් දවස්වල ගෙදර ගියාම තාත්තා හිටියා ගොඩාක් කෙට්ටු වෙලා. ඇහුවම කිව්වෙ Gastritis නිසා කියල. ඉතින් ඒකට උපදෙස් දීල මම හවස් වෙලා (මගේ) ගෙදර ආවා. ඊට දවස් දෙකකට පස්සෙ ගෙදරින් කතා කරල කිව්වා තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කලා, ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා තියෙනවා කියලා. දෙසැම්බර් 31 වෙනිදා ගෙදරින් කතා කරලා කිව්වා තාත්තාට පිලිකාවක් තියෙනවා වැඩිපුර ලෙඩේ ගැන හොයන්න මහරගම ඉස්පිරිතාලෙට ඇතුලත් කරන්න වෙනවා කියලා. මහරගමට ඇතුල් කරල අවශ්‍ය මූලික පරීක්ෂන එදාම කරගන්න පුලුවන් උනා. එතනදි කිව්වා තාත්තට පිලිකාව තියෙන්නෙ අක්මාවෙ කියලා. ඊට පස්සෙ මම තාත්තව අපෙ ගෙදර නවත්තගෙන තාත්තව බේරගන්න ඉඩක් තියෙනවද බලන්න තවත් පරීක්ෂන වගයක් කලා. බේරගන්න ඉඩක් තියෙනවනම් යන සේරම වියදම් දරන්න තාත්තගෙ යාලුවො ලැහැස්ති වෙලයි හිටියේ. ඒත් බේරගන්න කිසිම ඉඩක් නැහැ කියලා දොස්තරලා කිව්වා. 
ඊට පස්සෙ අපි එන දේකට මුහුන දෙන්න හිත හදාගත්තා. තාත්තට විටමින් වෙනමයි, වේදනා නාශක වෙනමයි, බේත් වෙනමයි තමයි දුන්නෙ. තාත්තගෙ ඇවිදීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව ටිකෙන් ටික නැතිවෙලා ගියා. අවසාන මොහොත වෙනකම්ම කිසිම වේදනාවක් ඇතිවෙන්න ඉඩ තිබ්බෙ නැහැ.
ජනවාරි 29 වෙනිදා හවස වත්තල හේමාස් එකේදී තාත්තා අපෙන් සමුගත්තා. 
මගේ ජීවිතේ තනිකරම වෙනස් වෙලා ගියා. 
ඉතින් අද ඉඳන් මම ඒ වෙනස් උන ජීවිතේ ගැන මේ බ්ලොග් එකේ ලියනවා ... 


මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......

අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
 
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ

ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන

කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ

ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී

නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ  පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා

කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට

(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)

- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය

බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ??

පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් එක බිම.
ඉතින් ඒ පටු පාරේ කන්ටේනර් එක අරන් ගිය ඩ්‍රැයිවර් ගේ වයස අවුරුදු 21 යි.

ඒ වාහනයට ගෝලයකුත් නැහැ. වරායෙ ඉඳන් එනගමන්, ඒ කියන්නෙ ලෝඩ් එකක් අරගෙන එන ගමන්.
ඩ්‍රැයිවර් වාහනය අරගෙන යන්නෙ දඩ කොලේකින්. ඒ කියන්නෙ ලයිසන් එක නැහැ.
වාහනයෙ ලයිසන් එක අයිතිකාරය ලඟ. ඒ කියන්නෙ වාහනයෙ ලයිසන් එකත් ඒ වෙනකොට ලඟ නැහැ.
ID එකේ කොපි එකක් ලැමිනේට් කරගෙන ලඟ තියාගෙන ඉන්නේ.
මිනිහගෙ පර්ස් එකෙ තිබ්බේ රු.120/ යි.
මිනිහගෙ අත් අකුරින් ලියමක් ලියාගෙන, උගෙ ෆෝන් නම්බර් එකත් අරගෙන, බෆර් එක ලනුවකින් ගැට ගහගෙන අපි ගෙදර ආවා.
ඕන්න ඕකයි ලංකාවේ තත්වය ...

Mother's Day ... මම කැමති සිංදුවක් ...

 අම්මාවරුන්ගේ දිනය (Mother's Day) හෙටට යෙදිලා තියෙනවා. සමහර අයට මේ පිටරටින් එන දේවල් අරහං. ඒත් අනිත් දවස් තුන්සිය හැට හතරම අපි මොකද කරන්නේ. මැයි 9 දාටවත් අපිට අම්මාව මතක් වෙනවා නම්, ඒක කොච්චර ලොකු දෙයක් ද.
~~~~~~~~~~~~~~~~~~~~
රූකාන්තගෙ මේ සිංදුව අහද්දි ඔයාලට දැනෙන හැඟීමමයි මටත් දැනෙන්නේ. අපි පොඩිකාලේ අපි ලඟින්ම අම්මා හිටියා. ඒත් දැන් අපි අම්මලව මහ ගෙදර තනිකරලා මෙහෙට ඇවිල්ලා ඉන්නවා. අපේ අවුරුදු ගානක මතකය අම්මා ලඟ ඇති.
මට දැන් ගෙදර ගිහිල්ලා අම්මාගෙ උකුලේ ඔළුව තියාන නිදාගන්න ඇත්නම් ......
අම්මා නොකා නොබී ඉඳියි .. මම ඇහැරෙනකම් ....