Showing posts with label උපුටා ගැනීම්. Show all posts
Showing posts with label උපුටා ගැනීම්. Show all posts

මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii)

Published on

2010-04-15 21:47
කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න.
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි. 

පිපාසය සන්සිඳුවන්න
මඩ වගුරකට හැකි වුවද
මහ සයුරට එය කල නොහැකිය
එනමුත්
මහ සයුරෙන් ලාභ ප්‍රයෝජන ගොඩක් ලැබිය හැකිය
එනිසා
මඩ වගුර ඉවත ලා
සයුරට පත් වෙමි
(ප්‍රධාන කලාගාරය - පේරා. වි.වි)

අප වෙනුවෙන් ඉදිවන
යදම් පවුරු බිඳ දමා
අපේ අයිතීන් දිනන්නෙමු
තොපේ ජීවිත බිලිගෙන උවද
(විද්‍යා පීඨයේ ආපන ශාලාව - පේරා වි.වි)

දක්කනවා වාසිටියේ කරත්තේ
ගොනා මැරෙනකං
ඇදපන් කරත්තේ
(ප්‍රධාන පොත්ගුල 02 මහල - පේරා වි.වි)

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(ප්‍රධාන පොත්ගුල 03 මහල - පේරා වි.වි)

කය නම් අසාරය
ලව් නම් භයංකාරය
කිය්යු කිම සාරය
පෙනෙයි රංජිත්ගෙන් දිවා රැය
(මාකස් ප්‍රනාන්දු ශාලාව - කාමර අංක 72)

කලකිනි පඤ්ඤා ලෙක්චර්ස් එන්නේ
දුකකිනි ලෙක්චර්ස් ෆලෝ කරනේ
කරත්තෙනුයි ඔහු ගමන් කරන්නේ
අව් වැසි කිසිවක් නෑ සලකන්නේ

ඇල් වතුරෙන් ජීවිතය ගෙවන්නේ
කරත්තෙ බැඳලයි ලෙක්චර්ස් එන්නේ
ගොනාට තණකොල චොක්ලට් දෙන්නේ
මෙහෙමයි පඤ්ඤගෙ කාලෙ ගෙවෙන්නේ

දින සති ක්‍රමයෙන් ගෙවිලා යන්නේ
පඤ්ඤා කරත්තෙන් බිමට වැටෙන්නේ
ඔහු නෑ කොයි කවුරුත් රුස්සන්නේ
ලයිබරියේමයි ඔහු මිය යන්නේ
(ප්‍රධාන පොත්ගුල 01 මහල - පේරා වි.වි)

විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
(ප්‍රධාන පුස්තකාලයේ මේසයකිනි - පේරා වි.වි)

වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි - පේරා වි.වි)

සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරනාව
මාජි ගැනයි කල්පනාව
(දේශන පැවැත්වෙන කාමරයක පුටු ඇන්දකිනි)

අනේ මීනුවන්
ඔබේ දෙසුමන්
මගේ දෙනුවන්
කරයි අඩවන්
(ප්‍රධාන පුස්තකාලය - කැලනිය වි.වි)

ගුණෙ අයියා පැමිනෙන්නේ
බුත්සරන අරගන්නේ
හොඳින් කියවන්නේ
අපට නිදි දෙව්දුව ලඟා වන්නේ

නින්ද නොයන අය හොඳහැටි අහගන්න
ගුණෙ අයියගෙ දේශනයට පැමිනෙන්න
අසුනක් අරා හිඳ දෙසුමට කන් දෙන්න
නිදි දෙව්දුව උරයි තොල්පෙති සැනිකින්න
(ප්‍රධාන පොත්ගුල 05 මහල - පේරා වි.වි)

බඩ මැදින් කලිසම ඇඳගෙන
තට්ටේ තෙල් තවරාගෙන
‍ව්‍යාකරණ පොත අරගෙන
විජේ අයියා එයි විගසින

තට්ටයා ව්‍යාකරණ කරයි
කෙල්ලෝ කොල්ලෝ ජොලියෙ කතා කරයි
උන්ගේ කෑකෝ ගැසීම් අස්සේ
තට්ටයා ව්‍යාකරණ කරයි

'තට්' ධාතුවට 'ට' යන්න
ආදේශ වීමෙන් හා
'යා' ප්‍රත්‍ය එකතු වීමෙන්
'තට්ටයා' පදය සෑදෙන බවත්
ඔහු අපට උගන්වයි
(ප්‍රධාන කලාගාරයේ මේසයකිනි - පේරා වි.වි)

කන්නේ පරිප්පුයි පානුයි දවාලට
බොනේ කැන්ටිමේ වතුරයි පිපාසෙට

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව)

[උපුටා ගැනීම : වසන්ත කේ දිසානායක (පේරා.වි.වි - සිංහල අංශය) - විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය 1995] පිටු 160/ මිල රු.70/-

ප.ලි :
මම දන්නව මේ දවස්වල පොත් කියවන එක අමාරු වැඩක් කියලා. ඉතින් එහෙම අයට තමයි මේ බ්ලොග් එක. පොතෙන් උපුටා ගත් කරුනු වල සියලු හිමිකම් කතෘ සතුවන අතර මේ බ්ලොග් එක නිසා කාගේ හෝ සිත් රිදීමක් ඇතිඋව හොත් ඒ ගැන මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. 
අවසාන වශයෙන් මේ පොත කියවීම අනුමත කරමි.

ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය

මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී.
"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"
ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි. ටිකට් 4ක්. අපි එයාලට රු.20,000/-ක් දුන්නම. එයාල අපිට දෙනවා ටිකට් 4ක්. අපි ඒ ටිකට් 4 රු. 20,000/-  ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුනල ඒ සල්ලි අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත.
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා. 
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4‍x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.

අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
1
4
20
100
500
2500
12,500
62,500
 නගරය විශාල නම්, හැමෝටම ලැප්ටොප් අවශ්‍ය නම්, එහි ජනගහනය 62,500 ක් නම් 8 වෙනි වට රවුමෙදී මෙම ගනුදෙනුව බිඳ වැටේ. සියලුම දෙනා එයට යටවී ඇත. එහෙත් ලැප්ටොප් ලබාගෙන ඇත්තේ එයින් 1/5 කොටසකි. ඉතිරි 4/5 දෙනා අතේ විකුනාගත නොහැකි වූ ටිකට් ඉතිරිව ඇත.
(මෙයට කියන්නේ "ගිරිහිම නිපාතය" කියාය)
තවත් රවුම් දෙක තුනක් යනවිට රටක්ම මෙයට යට විය හැක. එනමුත් එයින් 4/5 ක් ම රැවටීමකට ලක්ව ඇත.
මෙයින් කොම්පැනියට ලැබෙන්නේ කුමක්දැයි අපි බලමු. ජනගහනයෙන් 1/5ක් ලබාගත් ලැප්ටොප් සඳහා ඉතිරි 4/5 ක කොටසකට ගෙවීමට සලස්වයි. තවත් විදියකට කියනවානම් එක් අයෙක් ලබා ගත් භාන්ඩයේ ඉතිරිය සඳහා තවත් හතර දෙනෙක් ගෙවීම් සිදුකරයි. තවත් අතකින් කියනවානම් කිසිඳු අමතර වියදමක් නැතිව තමන්ගේ භාන්ඩ බෙදා හැරීම පිනිස ඒජන්තවරු සොයාගනී. (එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය - අයි. අයි. යසීන්ස්කි)
මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.

පසුවදන :
මෙහි මා ලැප්ටොප් වශයෙන් යෙදුවේ පහසුව පිනිසයි. මේ වැනි ව්‍යාපාර මේ දිනවල ලංකාවේ කෙරීගෙන යමින් පවතියි. සෝෆා, පිඟන් කට්ටල, TV, DVD Players, විටමින් පෙති, තිර රෙදි,  ... ලැප්ටොප් වෙනුවට ආදේශ වී ඇත.
මගේ මේ ලිපියට පාදක වූයේ Y Perelman ගේ Mathematics Can Be Fun පොතේ එන Large numbers ‍‍‍යටතේ ඇති කථාවකි. සෑම ලාංකිකයෙකුම කියවිය යුතු පොතකි. (ගණිත විනෝදය යනුවෙන් සිංහල පරිවර්තනයක් ඇත) මේ පොත මොළේ ඇති හොරෙකුට හමුවූයේ නම් රටට දෙවියන්ගේම පිහිටය.
ප.ලි : මෙහි pdf සංස්කරනය අන්තර්ජාලය පුරා සෙවූවත් හමුවූයේ නැත.

මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......

අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
 
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ

ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන

කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ

ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී

නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ  පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා

කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට

(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)

- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය