මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i)

අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්.
මේ මම තෝරාගත් කවි කීපයක් ...

කැන්ටිමේ පෝලිමක් දවල්ට බත්      කන්න

බැංකුවෙ පෝලිමක් මහපොල       අරගන්න
තව එක පෝලිමකි වැසිකිලි          පුරවන්න
කොක්කට එපා දෙවියනි මේ දුක     දෙන්න

කඩුවයි පන්දමයි ඇත්නම් නුඹට         මලේ

රස්සාවකට ඩිග්‍රියකින් කිමද               පලේ
ඩිග්‍රිය මිසක් කඩු පන්දම් නොමැති      කලේ
කොටපන් පුරන් බැහැලා නුඹ ගමේ වෙලේ

1st year පූජ්‍ය           හිමි

2nd year සිවුර        අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක්     හිමි

සටහන් මිටිය සමනල කඳුවැටිය     වැනී

නිදිමත අනේ ඒ කන්දේ මුදුන        වැනී
දාඩිය මුගුරු සාගරයේ ජලය           වැනී
ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනී

රුව කත ගුණ නැත

ගුණ කත රුව නැත
රුව ගුණ ඇති  කත
ලඟ පතිවත    නැත

කමිසය ගියා මාතර - බෙල්ට් එක අනුරපුරේ

කලිසම කලුතරට - සපත්තු          රත්නපුරේ
වොච් එක ගියේ නුවර - බෑගය      අම්පාරේ
කවදා එකට මේවා හමුවේවුද           ජ'පුරේ

යන එන විටදි වාගෙයි කැරකෙන  සෙක්කූ

වියපත් මුහුන කර ලස්සන ලා           මුක්කූ
සවසට ගෙදර උදයට සරසවි            දැක්කූ
කෙල්ලක් නොමැත ලස්සන, සේරම යක්කූ

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය

මෙය කිව් එකාගේ කට කෑවත්    මදිය
ඉක්මන් උන එකා අත බඩු හත   අටය
ඉවසපු මෙමා අද තාමත්      තනිකඩය

අල්ලට සිඟාවත් දෙවරුව පාන්   කකා

පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක    තකා

අප්පා හොයයි

අම්මා උයයි
අක්කා බෙදයි
මම කයි
සහ බුදියයි
දැනුම සොයයි
ඵල නොදරයි
හිතට දුකයි
ගත වැහැරෙයි

පානුයි පරිප්පුයි මතුවට බුදු       වේවා

ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
සම්බරු හොද්ද නේරංජන ගඟ වේවා
කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා

*
උපුටා ගැනීම බිහිදොර අබියස '99 කලා උළෙල නිමිත්තෙන් ප්‍රකාශිත "සරසවි කුරුටු ගී" පොතෙන් 
මට මතක හැටියට රු.10/- ක් විතර දීල තමයි මම පොත ගත්තේ.
මේ කවි තිබිලා තියෙන්නේ හොස්ටල් බිත්ති, පුස්ථකාල ඩෙස්ක්, රීඩිං හෝල් බිත්ති වගේ තැන් වල.

2 comments:

මහසෙන් / said...

මම දෙවෙනියට පටන් ගත්ත බ්ලොග් එකේ (දැනට ක්‍රියා විරහිත කර ඇති) තියෙන සමහර ලිපි ආයෙමත් පල කරන්න ඕනෑ කියල හිතුන.

Anonymous said...

පට්ටයි