මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.
හවස අපි දෙන්නා හබරාදූවේ පුංචි අම්මලගෙ ගෙදර ආවා. පාරෙන් එහා පැත්තේ මුහුද, මෙහා පැත්තෙ ගෙදර. මම මුහුදට ගොඩාක් ආසයි. ආපු ගමන්ම අපි කලේ මුහුදට පැනල හොඳට නාපු එක. එහා පැත්තෙ හොටෙල් එකකින් ගොගල්ස් වගයක් හම්බ උනා. අපි කලුවර වැටෙනකම්ම එක එක ජාතියෙ මාලු බල බල හොඳට මුහුදෙ පීනුවා. (මට ටිකක් පීනන්න පුලුවන්) ගෙදරදි අපිට නිදාගන්න හම්බඋනේ මුහුද පැත්තෙ කාමරයක්. මට නින්දගියේ පාන්දර යාමේ (මුහුදෙ සද්දෙ නිසා මට නින්ද ගියෙ නැහැ)
උදෙන්ම ආපහු මාතර යන්න හිටියත් පරක්කු වෙලා ඇහැරුනු හින්දා උදෙට කාලම යන්න හිටියා. මම ගොඩාක් ආසයි කිරිබත් වලට. ඒ නිසා පුංචි අම්මා කිරිබත් හදලා තිබුනා. බාප්පා රාජකාරි ගමනකට ගියා. මල්ලි බයික් එකෙන් යාලුවෙක්ගෙ ගෙදර ගියා. නංගි කැම්පස් එකේ නිසා ගෙදර ඇවිත් හිටියෙ නැහැ.
දැන් ගෙදර අපි තුන්දෙනයි. මම, වයිෆ්, පුංචි අම්මා. පෝය දවස නිසා පුංචි අම්මට පිරිත්අහන්න ඕනෑ උනා. මම පිරිත් CD එකක් දාලා මාතර යන්න ලැහැස්ති වෙන්න හැදුවා.ගේ තියෙන්නෙ ගාලු පාර අයිනෙ නිසා ලොකු තහඩු ගෙට්ටුවක් දාලා තියෙන්නෙ. තාප්පෙයි ගේට්ටුවයි නිසා මිදුලෙ ඉඳන් බැලුවට පාර පෙනෙන්නෙ නැහැ. මට ඇහුනා කවුදෝ ගේට්ටුවට ගහන සද්දයක්. මම දොරෙන් එබිලා බැලුවා. එතකොට දැක්කා ගේට්ටුව යටින් වතුර එනවා. ගේට්ටුව දඩ බඩ ගාලා හෙලවෙන්න ගත්තා. එකපාරටම ගේට්ටුව ගැලවිලා උඩින් ගියා (පස්සෙ බලද්දි ඒක තිබ්බෙ පිටිපස්සෙ ගෙදර බිත්තියකට හේත්තු වෙලා.
පාරෙ අඩි දෙකක් විතර වතුර. ඊට එහායින් මුහුද දිහා බැලුවාම දැක්කෙ ලොකු බිල්ඩින් එකක් වගේ, මුහුද අඩි 15ක් 20ක් විතර උඩට ඉස්සිලා. ඒ එක්කම බයික් එකක හිටපු කෙනෙක් ගහගෙන ඇවිල්ලා ගෙදර දොරේ එල්ලුනා. මම වයිෆ් වයි පුංචි අම්මවයි එක්ක පිටිපස්සෙ දොරින් එලියට බැස්සා. මගෙ බලාපොරොත්තුව උනේ උස තැනකට යාගන්න එක. ඒත් මොන උස තැන්ද. ඒ පැත්ත ඊටත් වැඩිය පාතයි.
අපි තුන්දෙනාම එකට ගුලිවෙලා ගෙයින් එලියෙ බිත්තියට හේත්තු වෙලා හිටියා. දැන් වතුර අපේ පපුව හරියට ඇවිත්. දඩ බඩ ගාන සද්දෙ, හෝ ගාන සද්දෙ නිසා අපි කතාකරන දේවල් වත් අපිට ඇහුනෙ නැහැ.
ගෙදර තියෙන බඩු මුට්ටු පාවෙලා යනවා. පුංචි අම්මා කෑගහනවා. පුංචි අම්මා මිටි නිසා මම එයාව මගෙ දකුනු පැත්තෙන් වඩා ගත්තා. වයිෆ්ට කිව්වා මගෙ උරහිසෙන් හයියෙන් අල්ලගන්න කියලා. අපි එකපාරටම උඩ පැනලා පීනලා ගිහිල්ලා ඉස්සරහ තියෙන පොල් ගස් අල්ලගමු කියල කිව්වා. එතකොට අපේ ඔලුවට උඩින් වතුර පාරක් ගියා. කොහොම හරි අපි තුන් දෙනා පීනලා ගියා. මම වම් අතින් පොල් ගහේ එලුනා. දකුනු අතින් පුංචි අම්මව අල්ලගෙන. වයිෆ් මගේ දකුනු අතේ එල්ලිලා. මට එයාව පොල් ගහට ඇදගන්න බැහැ. වතුර පාර සැරයි. ඒ ලඟම තිබුනා යකඩ මරන් (ඇල්බීසියා) ගහක්. එයාට ඒකෙ එල්ලෙන්න කිව්වම ගහේ අත්තක එල්ලුනා. වයිෆ්ට අහුඋනේ පොඩි අත්තක්. ඒ අත්ත මුලින් නැමුනා. ඊට පස්සෙ අත්ත කැඩුනා, ඒත් ගහෙන් ගැලවුනේ නැහැ. මේ වෙනකොට එයා හිටියේ මට අඩි 4ක් 5ක් විතර එහායින්. මම කිව්වා එයාට දඟලන්නෙ නැතිව වතුරෙ පාවෙලා ගහ අල්ලගන්න කියලා. අන්තිමට කොහොම හරි ගහ අල්ල ගත්තා. අපිට ආපු වතුර පාර ටිකක් සැර අඩුයි, මොකද අපි හිටියෙ ගේ පිටිපස්සෙ නිසා. හොඳ වෙලාවට ගේ කැඩුනෙ නැහැ. අනික අපි හිටියෙ මුහුද අයිනෙම නිසා මඩ, රොඩු වගේ ඒවා ආවෙ නැහැ. අනික ගොඩට ගහගෙන ගිය වතුර ආපහු ආවෙත් නැහැ.
ඊට පස්සෙ අපි ගස් වලින් බැහැලා පාරට ගියා. පාර පුරා වාහන. මිනිස්සු ...........
මම පෙරලිලා තිබුන බයික් එකක් ස්ටාට් කරගන්න හැදුවා . බැරිඋනා. ඊට පස්සෙ එතන තිබුන බයිසිකලයක් අරගෙන පුංචි අම්මව ඉස්සරහින් තියාගෙන වයිෆ්ව පිටිපස්සෙ රෝදෙ කෝන් එකට නග්ගගෙන ගාල්ල පැත්තට එන්න ගත්තා. (අපි හිතුවේ මුහුද ගොඩ ගැලුවෙ හබරාදූවට විතරයි කියලා). ඒත් පාර පුරා තියෙන සුන් බුන් හින්දා වැඩි දුර එහෙම යන්න බැරිඋනා. ගමේ හැමෝම පන්සලකට එකතුවෙන බව දැක්ක නිසා ඒ පන්සලට ගියා. ටික වෙලාවකින් මල්ලි අපිව හොයාගෙන පන්සලට ආවා.
එදා රෑ මල්ලිගෙ යාළුවෙකුගෙ ගෙදර ඉඳලා පහුවදා කොළඹට එන්න පිටත් උනා.