මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)

මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.
හවස අපි දෙන්නා හබරාදූවේ පුංචි අම්මලගෙ ගෙදර ආවා. පාරෙන් එහා පැත්තේ මුහුද, මෙහා පැත්තෙ ගෙදර. මම මුහුදට ගොඩාක් ආසයි. ආපු ගමන්ම අපි කලේ මුහුදට පැනල හොඳට නාපු එක. එහා පැත්තෙ හොටෙල් එකකින් ගොගල්ස් වගයක් හම්බ උනා. අපි කලුවර වැටෙනකම්ම එක එක ජාතියෙ මාලු බල බල හොඳට මුහුදෙ පීනුවා. (මට ටිකක් පීනන්න පුලුවන්) ගෙදරදි අපිට නිදාගන්න හම්බඋනේ මුහුද පැත්තෙ කාමරයක්. මට නින්දගි‍යේ පාන්දර යාමේ (මුහුදෙ සද්දෙ නිසා මට නින්ද ගියෙ නැහැ)
උදෙන්ම ආපහු මාතර යන්න හිටියත් පරක්කු වෙලා ඇහැරුනු හින්දා උදෙට කාලම යන්න හිටියා. මම ගොඩාක් ආසයි කිරිබත් වලට. ඒ නිසා පුංචි අම්මා කිරිබත් හදලා තිබුනා. බාප්පා රාජකාරි ගමනකට ගියා. මල්ලි බයික් එකෙන් යාලුවෙක්ගෙ ගෙදර ගියා. නංගි කැම්පස් එකේ නිසා ගෙදර ඇවිත් හිටියෙ නැහැ.
දැන් ගෙදර අපි තුන්දෙනයි. මම, වයිෆ්, පුංචි අම්මා. පෝය දවස නිසා පුංචි අම්මට පිරිත්අහන්න ඕනෑ උනා. මම පිරිත් CD එකක් දාලා මාතර යන්න ලැහැස්ති වෙන්න හැදුවා.ගේ තියෙන්නෙ ගාලු පාර අයිනෙ නිසා ලොකු තහඩු ගෙට්ටුවක් දාලා තියෙන්නෙ. තාප්පෙයි ගේට්ටුවයි නිසා මිදුලෙ ඉඳන් බැලුවට පාර පෙනෙන්නෙ නැහැ. මට ඇහුනා කවුදෝ ගේට්ටුවට ගහන සද්දයක්. මම දොරෙන් එබිලා බැලුවා. එතකොට දැක්කා ගේට්ටුව යටින් වතුර එනවා. ගේට්ටුව දඩ බඩ ගාලා හෙලවෙන්න ගත්තා. එකපාරටම ගේට්ටුව ගැලවිලා උඩින් ගියා (පස්සෙ බලද්දි ඒක තිබ්බෙ පිටිපස්සෙ ගෙදර බිත්තියකට හේත්තු වෙලා.
පාරෙ අඩි දෙකක් විතර වතුර. ඊට එහායින් මුහුද දිහා බැලුවාම දැක්කෙ ලොකු බිල්ඩින් එකක් වගේ, මුහුද අඩි 15ක් 20ක් විතර උඩට ඉස්සිලා. ඒ එක්කම බයික් එකක හිටපු කෙනෙක් ගහගෙන ඇවිල්ලා ගෙදර දොරේ එල්ලුනා. මම වයිෆ් වයි පුංචි අම්මවයි එක්ක පිටිපස්සෙ දොරින් එලියට බැස්සා. මගෙ බලාපොරොත්තුව උනේ උස තැනකට යාගන්න එක. ඒත් මොන උස තැන්ද. ඒ පැත්ත ඊටත් වැඩිය පාතයි. 
අපි තුන්දෙනාම එකට ගුලිවෙලා ගෙයින් එලියෙ බිත්තියට හේත්තු වෙලා හිටියා. දැන් වතුර අපේ පපුව හරියට ඇවිත්. දඩ බඩ ගාන සද්දෙ, හෝ ගාන සද්දෙ නිසා අපි කතාකරන දේවල් වත් අපිට ඇහුනෙ නැහැ. 
ගෙදර තියෙන බඩු මුට්ටු පාවෙලා යනවා. පුංචි අම්මා කෑගහනවා. පුංචි අම්මා මිටි නිසා මම එයාව මගෙ දකුනු පැත්තෙන් වඩා ගත්තා. වයිෆ්ට කිව්වා මගෙ උරහිසෙන් හයියෙන් අල්ලගන්න කියලා. අපි එකපාරටම උඩ පැනලා පීනලා ගිහිල්ලා ඉස්සරහ තියෙන පොල් ගස් අල්ලගමු කියල කිව්වා. එතකොට අපේ ඔලුවට උඩින් වතුර පාරක් ගියා. කොහොම හරි අපි තුන් දෙනා පීනලා ගියා. මම වම් අතින් පොල් ගහේ එලුනා. දකුනු අතින් පුංචි අම්මව අල්ලගෙන. වයිෆ් මගේ දකුනු අතේ එල්ලිලා. මට එයාව පොල් ගහට ඇදගන්න බැහැ. වතුර පාර සැරයි. ඒ ලඟම තිබුනා යකඩ මරන් (ඇල්බීසියා) ගහක්. එයාට ඒකෙ එල්ලෙන්න කිව්වම ගහේ අත්තක එල්ලුනා. වයිෆ්ට අහුඋනේ පොඩි අත්තක්. ඒ අත්ත මුලින් නැමුනා. ඊට පස්සෙ අත්ත කැඩුනා, ඒත් ගහෙන් ගැලවුනේ නැහැ. මේ වෙනකොට එයා හිටියේ මට අඩි 4ක් 5ක් විතර එහායින්. මම කිව්වා එයාට දඟලන්නෙ නැතිව වතුරෙ පාවෙලා ගහ අල්ලගන්න කියලා. අන්තිමට කොහොම හරි ගහ අල්ල ගත්තා. අපිට ආපු වතුර පාර ටිකක් සැර අඩුයි, මොකද අපි හිටියෙ ගේ පිටිපස්සෙ නිසා. හොඳ වෙලාවට ගේ කැඩුනෙ නැහැ. අනික අපි හිටියෙ මුහුද අයිනෙම නිසා මඩ, රොඩු වගේ ඒවා ආවෙ නැහැ. අනික ගොඩට ගහගෙන ගිය වතුර ආපහු ආවෙත් නැහැ. 
ඊට පස්සෙ අපි ගස් වලින් බැහැලා පාරට ගියා. පාර පුරා වාහන. මිනිස්සු ........... 
මම පෙරලිලා තිබුන බයික් එකක් ස්ටාට් කරගන්න හැදුවා . බැරිඋනා. ඊට පස්සෙ එතන තිබුන බයිසිකලයක් අරගෙන පුංචි අම්මව ඉස්සරහින් තියාගෙන වයිෆ්ව පිටිපස්සෙ රෝදෙ කෝන් එකට නග්ගගෙන ගාල්ල පැත්තට එන්න ගත්තා. (අපි හිතුවේ මුහුද ගොඩ ගැලුවෙ හබරාදූවට විතරයි කියලා). ඒත් පාර පුරා තියෙන සුන් බුන් හින්දා වැඩි දුර එහෙම යන්න බැරිඋනා. ගමේ හැමෝම පන්සලකට එකතුවෙන බව දැක්ක නිසා ඒ පන්සලට ගියා. ටික වෙලාවකින් මල්ලි අපිව හොයාගෙන පන්සලට ආවා. 
එදා රෑ මල්ලිගෙ යාළුවෙකුගෙ ගෙදර ඉඳලා පහුවදා කොළඹට එන්න පිටත් උනා.

14 comments:

මහසෙන් / said...

මේ පෝස්ට් එක ලිව්ව්වෙ 2010 දෙසැම්බර් 24 වෙනිදා. ඒත් ඉවර කරලා publish කරන්ගන්න බැරිඋනා. තාත්ත අසනීප බව අම්ම කෝල් කරල කිව්වෙ මේක ලිය ලිය ඉන්න ගමන්. අද නිකමට බලද්දි draft වල තිබුනා.

රොබින් said...

ආසන්න අත්දැකීමක්නේ සහෝ.
ඔයින් බේරැන එකම මදෑ..

වෙද ගෙදර මහ වෙදනා said...

ආසන්න අත්දැකීමකට මුහුණ දුන්නා. අපේ පවුලේ ලඟම ඤාති සොයුරෙක් සහ ඔහුගේ භාර්යාව නැති වුනා. චූටි දුව ඉතිරි වුනා. ඇය අපේ නංගි ලඟ ඉන්නවා. හොදින් ජීවත් වෙනවා. ඒත් ඇගේ මුහුනේ හැමවෙලේම මහා ශෝඛයක් තියනවා පේනවා. ඉගෙනීම සඳහා නංගී ඇයව කොළඹ ඉතා හොද ජනප්‍රිය පාසලකට ඇතුළු කලා. නමුත් ඇගේ ඉගෙනීම ඉතා දුර්වලයි. මම හිතන්නේ අපිට නොකිව්වට මේ බලපෑම.
කනගාටුව පලකරනව ඔබට. ඒත් බේරුනා මදෑ.

දිල් said...

මහසෙන්ට වගේ අත්දැකීමක් නැති උනත් සුනාමි කියන්නේ අපි හැමෝවම පුදුම කරවූ සහ දුකට පත් කරපු සිද්ධියක්නෙ..මේ ලඟදී මාත් මගෙ අයිති කාරයත් you tube එකේ තිබ්බ සුනාමි වීඩියෝ බැලුවා...අර චේන් එක කඩාගෙන වතුරටම දාල යන ගෑනූ කෙනාව සහ එක රොත්තට බදාගෙන ඉදලා ගැලවිලා යන ගෑණු දරුවො ටික දැක්කම තාමත් ඇස්වලින් කඳුළු එනවා....

2012 කියලා documentary එකක් තියෙනවා. ඒකෙත් සුනාමි වල අරන් තියෙන්නේ ඒ වීඩියෝ එකමයි

ශාන්..... said...

අද තමයි මේ පැත්තට ආවේ....ඇත්තටම අයියා සුනාමිය නම් මහ විශාල ඛේදවාචකයක්...මගේ යාළුවෝ දෙන්නෙක් බොහොම අමාරුවෙන් බේරිලා තිබ්බා....

හා පැටික්කි (MS) said...

අම්මේ අය්යා කාලෙකින් ආවේ අලවුන ලෝකෙට පය තියන්න...........

අපිත් ඉතින් ඔයාගේ අක්කගේ ගමේනේ. අපේ අම්මයි තාත්තයි උදේ ලේස්තිවෙලත් පොළට නොගියේ අපේ බව්වා කවදාවත්ම නැතුව ජීවිත කාලෙටම එදා විතරක්ම කර වැඩක් නිසා. නැත්නම් සුපුරුදු පරිදි උදේ 9 වෙද්දි පොලේ. අදටත් මටනම් හිතෙන්නෙම බව්වා ඒක හිතලම කලා කියලා. ඒ තරමට අම්මටයි තාත්තටයි බව් මලයා ආදරෙයි.

මං නම් වතුර පොදක්වත් එක මිනියක්වත් දෑසින් දැක්කේ නැහැ. ඒ ගැන නම් අනේ මංදා. දන්න සර් කෙනෙක් නැති වුනේ උඩ හිටි සර් පහල පන්තියේ හිටි ළමයි ඔක්කොම පීනලා බේරලා අරන් තියලා. ඒ ගැන නම් පුදුම දුකක්.

sameerausa said...

ඔබලා සියලු දෙනා ගොඩක් පින් කරලා ඇති ඒ වගේ බේරෙන්න...

මහසෙන් / said...

රොබින් ට : කොහොම හරි බේරෙන්න පුලුවන් උනා. ඒත් තවමත් ඒ අප්සට් එක හිතේ තියෙනවා.

මහසෙන් / said...

වෙද ගෙදර මහ වෙදනා ට : ඔබටත් කෙසේ හෝ මේ අත්දැකීම ලැබිල තියෙනව වගේ. මම මේකෙ නොලියපු තවත් ගොඩාක් දේවල් දැක්කා. ඒත් ඒවා ලියන්නවත් මතක් කරන එක හිතට මහා වදයක්.
ඇයට සුව අනාගතයකට ආසිරි !

මහසෙන් / said...

දිල් ට : සුනාමි අත්දැකීම වගෙම තමයි ඊට පස්සෙ ජීවිතය ගෙවද්දි ඇතිවෙන හැඟීම්. සමහර අය ඒ තැන් වලට ගිහිල්ල අඬනවා "අනේ අපි මෙතැනදිනෙ සුනාමියට අහුවුනේ .. " කියල. ස්තූතියි අදහස් බෙදාගත්තට ..

මහසෙන් / said...

ශාන්..... ට : මටත් ආයෙමත් මේ පැත්තට එන්න මාසයක් විතර ගියා .. ස්තූතියි මේ පැත්තෙ ආවට.

මහසෙන් / said...

හා පැටික්කි (MS) : රාජකාරි එක්ක මේ පැත්තෙ එන එක අමාරු දෙයක්. ඒ උනාට බ්ලොග් කියවන එක අත ඇරල නැහැ. ඔයා හොඳ වෙලාවට ඒ සිදුවීම් දැක්කෙ නැත්තෙ. අනික එදා පොලට සෑහෙන හානියක් වෙලා තිබුනා කියල නෑදෑයො කිව්වා. මිනිස්සු කවුද කියල හරියටම අඳුනගන්න පුලුවන් උන කාලයක් ඒක.

මහසෙන් / said...

sameerausa ට : මොකක් හරි පිනක් වගේ දෙයක් තිබිල තියෙනවා. ඒ නිසා තවත් දෙතින් දෙනෙක් බේරගන්නත් පුලුවන් උනා .. ස්තූතියි ..

ගයාන් තාරක said...

හෆ්ෆා මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ..

මුහුද අයිනෙම තිබුණු ගෙවල් කැඩෙන්නැතිව බේරුණේ රැල්ල ඒවට උඩින් ගිය නිසා..

මෙන්න එදා ගාල්ලෙ තත්වය
http://blog.indranama.com/2009/12/my-memory-of-2004-tsunami/