මගේ පුතා හොරු අරගෙන ගියාදෝ......

අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා.
 
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ

ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන
ගසේ පිපුන එක මල රොන් පුරවාන
ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන
පැසේ පපුව තුළ දරු දුක මුරගාන

කුරා කුහුඹුවෙකුටත් හිරිහැර නොකළ
වරා නින්ද පොත්පත් වණපොත්ම කළ
සරා සඳ මගේ දිවිඹර එකළු කළ
සොරාගෙන අහෝ දෙවියනි නරුම රැළ

ගෙවූ බරට බර රුපියල් පියා දනී
දිවූ දුරක් හති හලමින් පුතා දනී
මැවූ සිහින රෑ අහසේ තරුත් දනී
පෙවූ සිප් කිරම මට සාපයක් උනී

නියෙන් පහරකුත් නොමදී හැදූ පුතා
සයෙන් දෙවේලක් නොතියා හැදූ පුතා
බියෙන් වද ගසා පොල්ලෙන් නැසූ  පුතා
දියව් නරුමයනි මට යලි මගේ පුතා

කපා කොටා අතපය නැති කරගන්ට
පපා නිකට බැරිනම් ගොළුවී ඉන්ට
උපාධියට පන නළ උකසට දෙන්ට
එපා පුතුන් සරසවියට නම් යන්ට

(හිසට වැදුනු පොලු පහරක් හේතුවෙන් සරසවි සිසුවා මියයයි - පුවතක්)

- පද්මිනී ශ්‍රියාලතා -
කවිමුතු, නිම්නය
දිවයින ඉරිදා සංග්‍රහය (14.11.2010)
උපුටා ගැනීමකි
සියළු හිමිකම් කිවිඳිය හා පුවත්පත සතුය

No comments: