මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)

මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.
හවස අපි දෙන්නා හබරාදූවේ පුංචි අම්මලගෙ ගෙදර ආවා. පාරෙන් එහා පැත්තේ මුහුද, මෙහා පැත්තෙ ගෙදර. මම මුහුදට ගොඩාක් ආසයි. ආපු ගමන්ම අපි කලේ මුහුදට පැනල හොඳට නාපු එක. එහා පැත්තෙ හොටෙල් එකකින් ගොගල්ස් වගයක් හම්බ උනා. අපි කලුවර වැටෙනකම්ම එක එක ජාතියෙ මාලු බල බල හොඳට මුහුදෙ පීනුවා. (මට ටිකක් පීනන්න පුලුවන්) ගෙදරදි අපිට නිදාගන්න හම්බඋනේ මුහුද පැත්තෙ කාමරයක්. මට නින්දගි‍යේ පාන්දර යාමේ (මුහුදෙ සද්දෙ නිසා මට නින්ද ගියෙ නැහැ)
උදෙන්ම ආපහු මාතර යන්න හිටියත් පරක්කු වෙලා ඇහැරුනු හින්දා උදෙට කාලම යන්න හිටියා. මම ගොඩාක් ආසයි කිරිබත් වලට. ඒ නිසා පුංචි අම්මා කිරිබත් හදලා තිබුනා. බාප්පා රාජකාරි ගමනකට ගියා. මල්ලි බයික් එකෙන් යාලුවෙක්ගෙ ගෙදර ගියා. නංගි කැම්පස් එකේ නිසා ගෙදර ඇවිත් හිටියෙ නැහැ.
දැන් ගෙදර අපි තුන්දෙනයි. මම, වයිෆ්, පුංචි අම්මා. පෝය දවස නිසා පුංචි අම්මට පිරිත්අහන්න ඕනෑ උනා. මම පිරිත් CD එකක් දාලා මාතර යන්න ලැහැස්ති වෙන්න හැදුවා.ගේ තියෙන්නෙ ගාලු පාර අයිනෙ නිසා ලොකු තහඩු ගෙට්ටුවක් දාලා තියෙන්නෙ. තාප්පෙයි ගේට්ටුවයි නිසා මිදුලෙ ඉඳන් බැලුවට පාර පෙනෙන්නෙ නැහැ. මට ඇහුනා කවුදෝ ගේට්ටුවට ගහන සද්දයක්. මම දොරෙන් එබිලා බැලුවා. එතකොට දැක්කා ගේට්ටුව යටින් වතුර එනවා. ගේට්ටුව දඩ බඩ ගාලා හෙලවෙන්න ගත්තා. එකපාරටම ගේට්ටුව ගැලවිලා උඩින් ගියා (පස්සෙ බලද්දි ඒක තිබ්බෙ පිටිපස්සෙ ගෙදර බිත්තියකට හේත්තු වෙලා.
පාරෙ අඩි දෙකක් විතර වතුර. ඊට එහායින් මුහුද දිහා බැලුවාම දැක්කෙ ලොකු බිල්ඩින් එකක් වගේ, මුහුද අඩි 15ක් 20ක් විතර උඩට ඉස්සිලා. ඒ එක්කම බයික් එකක හිටපු කෙනෙක් ගහගෙන ඇවිල්ලා ගෙදර දොරේ එල්ලුනා. මම වයිෆ් වයි පුංචි අම්මවයි එක්ක පිටිපස්සෙ දොරින් එලියට බැස්සා. මගෙ බලාපොරොත්තුව උනේ උස තැනකට යාගන්න එක. ඒත් මොන උස තැන්ද. ඒ පැත්ත ඊටත් වැඩිය පාතයි. 
අපි තුන්දෙනාම එකට ගුලිවෙලා ගෙයින් එලියෙ බිත්තියට හේත්තු වෙලා හිටියා. දැන් වතුර අපේ පපුව හරියට ඇවිත්. දඩ බඩ ගාන සද්දෙ, හෝ ගාන සද්දෙ නිසා අපි කතාකරන දේවල් වත් අපිට ඇහුනෙ නැහැ. 
ගෙදර තියෙන බඩු මුට්ටු පාවෙලා යනවා. පුංචි අම්මා කෑගහනවා. පුංචි අම්මා මිටි නිසා මම එයාව මගෙ දකුනු පැත්තෙන් වඩා ගත්තා. වයිෆ්ට කිව්වා මගෙ උරහිසෙන් හයියෙන් අල්ලගන්න කියලා. අපි එකපාරටම උඩ පැනලා පීනලා ගිහිල්ලා ඉස්සරහ තියෙන පොල් ගස් අල්ලගමු කියල කිව්වා. එතකොට අපේ ඔලුවට උඩින් වතුර පාරක් ගියා. කොහොම හරි අපි තුන් දෙනා පීනලා ගියා. මම වම් අතින් පොල් ගහේ එලුනා. දකුනු අතින් පුංචි අම්මව අල්ලගෙන. වයිෆ් මගේ දකුනු අතේ එල්ලිලා. මට එයාව පොල් ගහට ඇදගන්න බැහැ. වතුර පාර සැරයි. ඒ ලඟම තිබුනා යකඩ මරන් (ඇල්බීසියා) ගහක්. එයාට ඒකෙ එල්ලෙන්න කිව්වම ගහේ අත්තක එල්ලුනා. වයිෆ්ට අහුඋනේ පොඩි අත්තක්. ඒ අත්ත මුලින් නැමුනා. ඊට පස්සෙ අත්ත කැඩුනා, ඒත් ගහෙන් ගැලවුනේ නැහැ. මේ වෙනකොට එයා හිටියේ මට අඩි 4ක් 5ක් විතර එහායින්. මම කිව්වා එයාට දඟලන්නෙ නැතිව වතුරෙ පාවෙලා ගහ අල්ලගන්න කියලා. අන්තිමට කොහොම හරි ගහ අල්ල ගත්තා. අපිට ආපු වතුර පාර ටිකක් සැර අඩුයි, මොකද අපි හිටියෙ ගේ පිටිපස්සෙ නිසා. හොඳ වෙලාවට ගේ කැඩුනෙ නැහැ. අනික අපි හිටියෙ මුහුද අයිනෙම නිසා මඩ, රොඩු වගේ ඒවා ආවෙ නැහැ. අනික ගොඩට ගහගෙන ගිය වතුර ආපහු ආවෙත් නැහැ. 
ඊට පස්සෙ අපි ගස් වලින් බැහැලා පාරට ගියා. පාර පුරා වාහන. මිනිස්සු ........... 
මම පෙරලිලා තිබුන බයික් එකක් ස්ටාට් කරගන්න හැදුවා . බැරිඋනා. ඊට පස්සෙ එතන තිබුන බයිසිකලයක් අරගෙන පුංචි අම්මව ඉස්සරහින් තියාගෙන වයිෆ්ව පිටිපස්සෙ රෝදෙ කෝන් එකට නග්ගගෙන ගාල්ල පැත්තට එන්න ගත්තා. (අපි හිතුවේ මුහුද ගොඩ ගැලුවෙ හබරාදූවට විතරයි කියලා). ඒත් පාර පුරා තියෙන සුන් බුන් හින්දා වැඩි දුර එහෙම යන්න බැරිඋනා. ගමේ හැමෝම පන්සලකට එකතුවෙන බව දැක්ක නිසා ඒ පන්සලට ගියා. ටික වෙලාවකින් මල්ලි අපිව හොයාගෙන පන්සලට ආවා. 
එදා රෑ මල්ලිගෙ යාළුවෙකුගෙ ගෙදර ඉඳලා පහුවදා කොළඹට එන්න පිටත් උනා.

කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි


කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ අන්තිම දවසේ බොන්න. එකෙක් බියර් කේස් එකක් ගේනවා කිව්වා. (ඒව ඉතින් බයිලා). 
ඉංගිරිසි පන්තියේ අන්තිම දවසත් උදාවුනා. එදා තිබුන කොන්සට් එකට හැම පංතියෙන්ම අයිටම් එකක් දාන්න ඕනෑ. අපේ අයිටම් එක ෆැෂන් ෂෝ එකක්. ඉතින් කොල්ලො පස් දෙනෙක් විතර (කකුල් වල මයිල් එහෙම ගාලා) කෙල්ලො වගෙ අන්දලා ගත්තා. මම තමයි ඒ අයව ස්ටේජ් එකට (බලාගෙන ඉන්න අයට) එක්කගෙන ගියේ (ඒ කියන්නෙ මම කෙල්ලෙකුට ඇන්දෙ නැහැ කියලයි). ධර්මාලෝක ශාලාව (සමහර අය කියන්නෙ ලෙනින් ශාලාව කියල ..) පුපුරන්න හූ සද්දෙ, කෙල්ලොත් උඩ පැන පැන හිනාවෙනවා (කෙලි) කොල්ලන්ගෙ ෆැෂන් ෂෝ එක බලලා.
ඒ වැඩ ඉවර වෙනකොට හවස් වෙලා. ඊට පස්සෙ බොන කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. මෙන්න බොලේ දෙතුන් දෙනෙක් හැලෙන්න පටන් ගත්තා. (ගෙදර යන්න ඕනෑ කියපි .. ) කමක් නැහැ බියර් කේස් එකක් හරි තියෙනවනෙ කියල හිතා ගත්තා. මොන කේස් එකක්ද???? තාත්තා ගේන්න දුන්නෙ නැතිලු. 

ඒකෙන් මේකෙන් කාරි නැහැ කියල එකතු උන ටික දෙනා (දහ දෙනෙක් විතර) හිමින් හිමින් බොන්න තැනක් හොයාගෙන කිරිබත්ගොඩ පැත්තට ගියා. හොඳ තැනක් හම්බ උනේ එහා කොනටම ගියාම. ඉතින් කට්ටිය එකතුවෙලා බියර් එක්ක ලෙමන් ජින් බිව්වා. ටික වෙලාවකින් කට්ටියට ඩාන්ස් කරන්න ඕනෑ උනා. රෙස්ටුරන්ට් එකේ දාල තියෙන සිංදු හරි නැහැ. මං ගාව තිබ්බ සිංදු වගයක් දාන්න කියලා දුන්නා. ඒවා අහන ගමන් රෑ වෙනකම්ම බිව්වා. සමහර අය මහ ලොකුවට කිව්වට ජීවිතේටම මුලින්ම බොන දවස එදා. (ඒ බව දන්නෙ පස්සෙ).

බීල ඉවරවෙලා කට්ටියම ආපහු කැම්පස් එකට යන්න පටන් ගත්තා. බීපු එකෙකුටවත් කෙලින් යන්න බැහැ. (නොබීපු අයත් දෙන්නෙක් විතර හිටියා). ඉතින් පාර දිගේ (කෑ ගහ ගහ) පයින් යන ගමන් කලේ ගෙවල් වල වහල තියෙන ගේට්ටු අරිනවා, ඇරල තියෙන ගේට්ටු වහනවා, වහල තියෙන කඩවල් වල තහඩු බෝඩ් නවනවා, ..... 
ගෙවල් වලට යන කට්ටිය කැම්පස් එක ලඟින් බස් වලට නග්ගලා බෝඩිං වල ඉන්න අය හිමින් හිමින් අමාරුවෙන් කැම්පස් කන්ද නැගලා බෝඩිම් වලට පිටත් උනා. ගෙවල් වලට ගිය එකෙක් බස් හෝල්ට් එකක බැහැලා එතනම නිදාගෙන පහුවදා උදේ සෙනඟ එනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.
[** සියළු ඡායාරූප උපුටා ගත් ඒවා බව සලකන්න**]