තාත්තාගේ සමුගැන්ම සමග .....

මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. 
බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. 
අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ගෙදර යන්නෙ මාස ගානකට සැරයයි. රස්සාවත් එක්ක ඔට්ටු වෙනකොට ගෙවල් දොරවල් මතක් වෙන්නෙ නැහැ. ඉතින් ගිය දෙසැම්බර් (2010) නත්තල් දවස්වල ගෙදර ගියාම තාත්තා හිටියා ගොඩාක් කෙට්ටු වෙලා. ඇහුවම කිව්වෙ Gastritis නිසා කියල. ඉතින් ඒකට උපදෙස් දීල මම හවස් වෙලා (මගේ) ගෙදර ආවා. ඊට දවස් දෙකකට පස්සෙ ගෙදරින් කතා කරල කිව්වා තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කලා, ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා තියෙනවා කියලා. දෙසැම්බර් 31 වෙනිදා ගෙදරින් කතා කරලා කිව්වා තාත්තාට පිලිකාවක් තියෙනවා වැඩිපුර ලෙඩේ ගැන හොයන්න මහරගම ඉස්පිරිතාලෙට ඇතුලත් කරන්න වෙනවා කියලා. මහරගමට ඇතුල් කරල අවශ්‍ය මූලික පරීක්ෂන එදාම කරගන්න පුලුවන් උනා. එතනදි කිව්වා තාත්තට පිලිකාව තියෙන්නෙ අක්මාවෙ කියලා. ඊට පස්සෙ මම තාත්තව අපෙ ගෙදර නවත්තගෙන තාත්තව බේරගන්න ඉඩක් තියෙනවද බලන්න තවත් පරීක්ෂන වගයක් කලා. බේරගන්න ඉඩක් තියෙනවනම් යන සේරම වියදම් දරන්න තාත්තගෙ යාලුවො ලැහැස්ති වෙලයි හිටියේ. ඒත් බේරගන්න කිසිම ඉඩක් නැහැ කියලා දොස්තරලා කිව්වා. 
ඊට පස්සෙ අපි එන දේකට මුහුන දෙන්න හිත හදාගත්තා. තාත්තට විටමින් වෙනමයි, වේදනා නාශක වෙනමයි, බේත් වෙනමයි තමයි දුන්නෙ. තාත්තගෙ ඇවිදීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව ටිකෙන් ටික නැතිවෙලා ගියා. අවසාන මොහොත වෙනකම්ම කිසිම වේදනාවක් ඇතිවෙන්න ඉඩ තිබ්බෙ නැහැ.
ජනවාරි 29 වෙනිදා හවස වත්තල හේමාස් එකේදී තාත්තා අපෙන් සමුගත්තා. 
මගේ ජීවිතේ තනිකරම වෙනස් වෙලා ගියා. 
ඉතින් අද ඉඳන් මම ඒ වෙනස් උන ජීවිතේ ගැන මේ බ්ලොග් එකේ ලියනවා ...